නුඹලාගේ මව්වරුන්, නුඹලාගේ දූවරුන්, නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්), නුඹලාගේ මවගේ සහෝදරියන්, (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන්, සහෝදරියගේ දූවරුන්, නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන්, කිරි පෙවීම හේතුවෙන් වූ නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් සහ නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑවරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ දූරුවන් නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදි. එහෙත් නුඹලා ඔවුන් (එම බිරියන්) වෙත ප්‍රවේශ නො වූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑවරුන් (ලේලියන්) ද පෙර පැවති දෑ හැර (මින් පසු), සහෝදරියන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදි. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; පරම කරුණාභරිත ය.